ක්‍රිස්මස් බයිබල් වාක්‍ය

ක්‍රිස්මස් බයිබල් වාක්‍ය

“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”

මීකා 5:2

සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.

යෙසායා 7:14

එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.

ශුද්ධවර මතෙව් 1:20-21

“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

ශුද්ධවර ජොහන් 3:16

අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.

යෙසායා 9:6

ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.

ශුද්ධවර ජොහන් 1:14

එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය.

ගලාති 4:4-5

එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙ‍න්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.

ශුද්ධවර ලූක් 2:10-11

ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්, “අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.

ශුද්ධවර ලූක් 2:13-14

රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

ශුද්ධවර මතෙව් 2:9-12

Categoriesවර්ගීකරණය නොකළ