ලෝකයේ ආලෝකය මම ය

ලෝකයේ ආලෝකය මම ය

යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.


ශුද්ධවර ජොහන් 8:12

අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.


යෙසායා 9:2

හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.


ගීතාවලිය 27:1

“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.


2 කොරින්ති 4:6

එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය. තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක.


රෝම 8:10-11

මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.


එපීස ‍ 5:8

එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය. අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.


1 ජොහන් 1:7-9

“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”


ශුද්ධවර මතෙව් 5:14-16

ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.


ශුද්ධවර ජොහන් 1:5