සැදැහැවතුන්ගේ යුද්ධායුධ

එපීස ‍ 6:10-18

10  
අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න.

11  
යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න.

12  
මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය.

13  
එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.

14  
එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න.

15  
සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න.

16  
තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය.

17  
ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න.

18  
සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.

Ephesians 6 in Sinhala

Ephesians 6 in English

Categoriesවර්ගීකරණය නොකළ